අවුරුදු උත්සවවල කණා මුට්ටි බිඳින්න සහ අන්ධයාට කිරි කවන්න බැහැ

මෙවර පැවැත්වෙන අලුත් අවුරුදු උත්සවයන්හි දී “කණා මුට්ටිය බිඳීම සහ අන්ධයාට කිරිකැවීම” “වාසනා මුට්ටිය බිඳීම සහ සගයට කිරි කැවීම” ලෙස වෙනස් කළ බව සමාජ සවිබලගැන්වීම් රාජ්‍ය අමාත්‍ය අනුප පස්කුවල් මහතා පවසනවා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ, ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින්.

ආබාධිත පුද්ගලයන් පිළිබඳ සමාජය තුළ සංකල්පමය වෙනසක් ඇති කිරීම හේතුවෙන් අදාළ තීරණය ගත් බවයි, ඔහු පෙන්වා දෙන්නේ.

සිංහල හා හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් සමෘද්ධි ව්‍යාපාරය යටතේ ඇති සියළුම බැංකු විසින් අවුරුදු උත්සව 1089ක් දිවයින පුරා පැවැත්වීමට කටයුතු යොදා ඇති බව අමාත්‍යවරයා කියා සිටියා.

සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව සමෘද්ධි බැංකුවලට චක්‍රලේඛයක් නිකුත් කරමින් මෙම ක්‍රීඩාවල නම් වෙනස් කරන ලෙසට දැනුම් දී ඇති බව සඳහන්.

"මෙම වසරේ අවසන් කාර්තුවෙන් පසු මෙරට ආර්ථික සංකෝචනය අඩු වී 2024 වසරේදී ධන ආර්ථිකයකට යොමු වීමේ හැකියාවක් අපට ලැබී තිබෙනවා.

පාරිභෝගිකයාට දරා ගත නොහැකිවූ ජීවන වියදමට විසඳුම් ලබා දීම අපේ ආර්ථික වැඩපිළිවෙලේ ප්‍රධාන අරමුණක් වුණා. නමුත් ඉකුත් වසරට සාපේක්ෂ්ව ජනතාව මෙවර සුපුරුදු පරිදි අලුත් අවුරුදු සැමරීම වෙනුවෙන් තම දෛනික කටයුතුවල නිරත වෙමින් සිටිනවා.

එමෙන්ම මෙම වසරේ අලුත් අවුරුද්ද වෙනුවෙන් සමෘද්ධි ව්‍යාපාරය යටතේ ඇති සියළුම බැංකු විසින් අවුරුදු උත්සව 1089ක් දිවයින පුරා පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.

එහිදි විශේෂ අවශ්‍යතා සහිත ප්‍රජාව වෙනුවෙන් විශේෂ අවධානයක් යොමු කර තිබෙනවා. “කණා මුට්ටිය බිඳීම සහ අන්ධයාට කිරි කැවීම” යන විශේෂාංග මේ වන විට සමාජය විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා. එය අප අමාත්‍යාංශය විසින් ද පිළිගෙන තිබෙනවා. ඒ වෙනුවට “වාසනා මුට්ටිය බිඳීම සහ සගයට කිරි කැවීම” යන නම් යොදන ලෙස සංවිධායකයින් දැනුවත් කර තිබෙනවා. එමඟින් අප බලාපොරොත්තු වන්නේ සමාජය තුළ සංකල්පමය වෙනසක් ඇති කිරීමයි. ඒ වගේම සියලුම අවුරුදු උත්සව සඳහා ආබාධිත පුද්ගලයන් වෙනුවෙන් විශේෂ වැඩසටහන් රැසක් ද අප විසින් සංවිධානය කර තිබෙනවා.

මෙරට සංචාරක කර්මාන්තය පසුගිය සමයේ කඩා වැටීමට ලක්ව තිබුණා. නමුත් ජනාධිපතිතුමාගේ නව වැඩපිළිවෙලට අනුව මෙම වසරේ අද දක්වා කාලය තුළ සංචාරකයින් 635,784 ක් දිවයිනට පැමිණ තිබෙනවා. ඉන් ඇමෙරිකානු ඩොලර් මිලියන 1025ක් උපයා තිබෙනවා.

සියළුම අමාත්‍යංශ විසින් සමාජය සවිබල ගැන්වීමේ වැඩසටහන් දියත් කර තිබෙනවා. එමඟින් පවුල් 10,000ක් සඳහා ගම් කුකුළු නිෂ්පාදන මධ්‍යස්ථාන ආරම්භ කිරීමට කටයුතු යොදා තිබෙනවා. එම වැඩසටහන මැයි මාසයේ ආරම්භ කිරීමට ආදාළ සියළු කටයුතු සූදානම් බව ද පැවසිය යුතුයි. ඒ සඳහා ණය සහ ආධාර ලබා දීමට ද නියමිතයි. තේ වගාව වෙනුවෙන් පවුල් 14,000ක් සඳහා තේ පැල ලබාදීමට ද අප කටයුතු යොදා තිබෙනවා.

ඒ වගේම අස්වැසුමලාභීන් වෙනුවෙන් තේ පැල නොමිලේ ලබාදීමට කටයුතු කරනවා. 36%ක්ව පැවති පොලී අනුපාතය අඩුකරමින් 12%ක් වශයෙන් සහන ණය ලබාදීමට කටයුතු කරනවා. එමෙන්ම කාන්තා “ලිය සවිය” වැඩසටහනට සමගාමීව 12% පොලී අනුපාතය යටතේ ඕනෑම නිෂ්පාදනයක් වෙනුවෙන් සහන ණය ලබාදීම, මැයි මාසයේ සිට ආරම්භ කරනවා."

Post a Comment

Previous Post Next Post