අද තමයි ඒ දවස... "ඔව්" අද එය සිදුවෙනවා...


සමහර විට පූර්ණ සූර්ය ග්‍රහණයක් කෙනකුට දැකගත හැකි වන්නේ ජීවිතයේ එක් වරක් පමණකි.

අද සිදුවන සූර්ය ග්‍රහණය හොඳින්ම දැක බලා ගත හැක්කේ කැනඩාව, ඇමරිකාව ආදී රටවලටය. නාසා ආයතනය මෙම පූර්ණ සූර්ය ග්‍රහණය පෙනෙන රටවල සිතියමක් සකසා එය දැක බලා ගැනීමේ අත්දැකීම කැමැති අයට ලබාදීමට කටයුතු සලස්වා ඇත. එසේම අන්තර්ජාලය හරහා ලොව නොයෙක් ස්ථානවලට සූර්ය ග්‍රහණය පෙනෙන ආකාරය අධ්‍යයනය කිරීම සඳහා නාසා වෙබ් අඩවියේ දිගුවක්ද සපයා තිබේ. එය පහත පරිදිය.

go.nasa.gov/EclipseExplorer සූර්ය ග්‍රහණය ලොවට පෙනීම ඇරඹෙන්නේ දකුණු පැසිෆික් කලාපයට ඉහළිනි. ගොඩබිම් ප්‍රදේශයක් ලෙස පළමුවරට දිස්වෙන්නේ සදුදා පෙ.ව. 11.07ට උතුරු ඇමරිකාවේ මෙක්සිකෝ පැසිෆික් වෙරළ තීරයට ඉහළිනි. අනතුරුව ඇමරිකාව සහ කැනඩාවට පූර්ණ සූර්ය ග්‍රහණය දිස්වනු ඇත.

කෙසේ නමුත් පූර්ණ සූර්ය ග්‍රහණය දිස්වන්නේ ලෝක සිතියමේ ඉතා පටු තීරයකට බව නාසා සිතියම අනුව පෙනී යයි. එම පටු තීරය ඇමරිකාවේ ටෙක්සාස් සිට මේන් දක්වා විහිදෙයි. නමුත් ඇමරිකාවේ අනෙක් ප්‍රාන්ත 48ටම පාර්ශ්වික සූර්ය ග්‍රහණයක් ලෙස දිස්වෙයි.

පූර්ණ සූර්ය ග්‍රහණය දිස්වෙන පටු තීරය මෙක්සිකෝවෙන් ඇරඹී ඇමරිකාවේ ටෙක්සාස් සිට ඔක්ලොහාමා, ආකන්සාස්, ඉලිනොයිස්, කෙන්චුකි, ඉන්ඩියානා, ඔහියෝ, පෙනිසිල්වීනියා, නිව්යෝර්ක්, වර්මොන්ට්, නිව් හැම්පෂර් සහ මේන් හරහා වැටී ඇත. ටෙනෙසී සහ මිචිගන්හි සුළු ප්‍රදේශයකටද පූර්ණ සූර්ය ග්‍රහණය පෙනෙන බව නාසා ආයතනය කියයි.

කැනඩාවට පූර්ණ සූර්ය ග්‍රහණය දිස්වීම ඇරඹෙන්නේ දකුණු ඔන්ටාරියෝ පෙදෙසිනි. අනතුරුව ක්වෙබෙක්, නිව් බ්‍රන්ස්වික්, ප්‍රින්ස් එඩ්වර්ඩ් අයිලන්ඩ් සහ කෙප්බ්‍රෙටන් ඔස්සේ ගමන් කරයි. සූර්ය ග්‍රහණය නිමා වන්නේ උතුරු ඇමරිකාවෙන් සහ කැනඩාවේ නිව්ෆවුන්ඩ්ලන්ත අත්ලන්තික් වෙරළ තීරයෙන් ප.ව. 5.16ටය.

මෙවර පූර්ණ සූර්ය ග්‍රහණය දැකීමට හොඳම ප්‍රදේශය ලෙස දක්වා ඇත්තේ නිව්යෝර්ක් නගරයේ ප්ලැට්ස්බර්ග්ය. (Plattsburgh). එම ප්‍රදේශය පූර්ණ සූර්ය ග්‍රහණය හේතුවෙන් විනාඩි 3යි තත්පර 33ක් සූර්යාලෝකය නොමැතිව අදුරු වනු ඇත. කැනඩාවේ ක්වෙබෙක්හි ෂර්බෘෘක් (Sherbrooke) විනාඩි 3 තත්ත්පර 25ක කාලයක් මෙම අත්දැකීම ලබයි.

පූර්ණ සූර්ය ග්‍රහණය පවතින දිගුම කාලය වන විනාඩි 4යි තත්පර 28ක අන්ධකාරය අත් විඳින්නේ මෙක්සිකෝවේ ටොර්රියොන් (Torreón) ප්‍රදේශයයි. ශ්‍රී ලංකාවට මෙම පූර්ණ සූර්යග්‍රහණය නොපෙනේ.

එම අවස්ථාවේදී අපට රාත්‍රි කාලය උදාව ඇත. හිරු අස්තව පවතී.

Post a Comment

Previous Post Next Post