ඉන්ධන ගැන සැඟවුණු කතාවක් එළියට (වීඩියෝ)


ඔක්ටේන් 92 වර්ගයේ ඉන්ධන ලීටරයකින් රජය අද වනවිට රුපියල් 130ක් සහ ඔටෝ ඩීසල් ලීටරයකින් රුපියල් 107ක් ලෙස බදු අයකරගන්නා බව අනාවරණ වනවා.

මාසික මිල සූත්‍රය අනුව ඊයේ (31) මැදියම් රැයේ සිට ඉන්ධන මිල සංශෝධනය කෙරුණත් ජනතාව වැඩි වශයෙන් පරිභෝජනය කරන එම ඉන්ධන වර්ග දෙකෙහි මිල වෙනස් කර නැහැ.

මේ හේතුවෙන් බස් රථ, ත්‍රිරෝද රථ හා පාසල් වෑන් රථ ගාස්තුවල වෙනසක් නොකිරීමට එම සංගම් තීරණය කර තිබෙනවා.

ඉන්ධන මිල සංශෝධනයට අනුව ඊයේ මධ්‍යම රාත්‍රී සිට ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 7 කිනුත්, සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 72කිනුත් පහළ දමනු ලැබුවා.

භූමිතෙල් ලීටරයක මිල රුපියල් 12කින් පහළ දමා ඇති අතර, එහි නව මිල රුපියල් 245ක්.

කෙසේ වෙතත්, මෙරට සාමාන්‍ය ජනතාව මෙන්ම පොදු ප්‍රවාහන සේවා සඳහාද වැඩි වශයෙන් භාවිත කෙරෙන ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් සහ ලංකා ඔටෝ ඩීසල් මිල ගණන් පහළ දැමීමක් සිදු නොවූ අතර, ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 371කටත්, ලංකා ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 363කටත් අලෙවි කෙරෙනවා.

මෙම මිල ගණන්වලට සමගාමීව තම ඉන්ධන මිලද සංශෝධනය කළ බවයි ලංකා IOC සමාගම පැවසුවේ.

මීට අමතරව, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ඉන්ධන මිල සංශෝධනයට සමගාමීව සිනොපෙක් සමාගමද ඉන්ධන මිල සංශෝධනය කර ඇති අතර, එම සමාගම පැවසුවේ රුපියල් 368ක්ව පැවැති ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල සහ රුපියල් 360ක්ව පැවැති ඔටෝ ඩීසල් ලීටරයක මිල නොවෙනස්ව පවතින බවයි.

මේ හේතුවෙන් බස් රථ, ත්‍රිරෝද රථ හා පාසල් වෑන් රථ ගාස්තුවල කිසිදු සංශෝධනයක් නොකිරීමට එම සංගම් තීරණය කර තිබෙනවා.

මේ අතර, සියලු ඉන්ධන වර්ග මෙරට පාරිභෝගිකයාට හිමි වන්නේ බදු වර්ග කිහිපයකට යටත්වයි.
$ads={2}
ඒ අතරින් ගොඩබාන අවස්ථාවේ රුපියල් 205යි සත 79ක් වන ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් මත බදු වර්ග 03ක් පැනවෙනවා.

රුපියල් 72ක නිෂ්පාදන බද්ද, රුපියල් 3 සත 79ක සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද හා රුපියල් 54 යි සත 64ක වැට් බද්ද ඊට අයත් අතර, එම බදුවල එකතුව රුපියල් 130 සත 43ක්.

ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් මෙරටට ගොඩබානු ලබන්නේ රුපියල් 232යි සත 44කට වන අතර රේගු ආනයන බද්ද ද ඇතුළුව ඒ මත ඇති බදු වර්ග 4ක එකතුව රුපියල් 162.31ක් වනවා.

ගොඩබාන අවස්ථාවේ රුපියල් 213 සත 73ක් වන ලංකා ඔටෝ ඩීසල් ලීටරයක මිල මත ද බදු වර්ග 03ක් පැනවෙනවා.

රුපියල් 50ක නිෂ්පාදන බද්ද , රුපියල් 3 සත 73ක සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද සහ රුපියල් 53 සත 73ක වැට් බද්ද ඊට අයත් අතර, එම බදුවල එකතුව රුපියල් 107.46ක්.

ලංකා සුපර් ඩීසල් ලීටරයක් මෙරටට ගොඩබානු ලබන්නේ රුපියල් 214.54ක මිලකට වන අතර රේගු ආනයන බද්ද ද ඇතුළුව ඒ මත ඇති බදු වර්ග 4ක එකතුව රුපියල් 133.11ක් වනවා.

ඒ අනුව, රුපියල් 205 සත 79කට මෙරටට ගෙන්වන ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 371ක් ලෙස සැකසෙන්නේ රුපියල් 130 සත 43ක බදු සහ අනෙකුත් වියදම් එකතු වීමෙන් පසුවයි.

Post a Comment

Previous Post Next Post